ලිනක්ස් වලිනුත් පුළුවන්!

බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ ගොඩක් දේවල් ලිනක්ස් වලින් කරන්න බෑ කියලනේ. එක අතකින් ඒක සාධාරණයි, මොකද අපෙ රටේ තොරතුරු තාක්ෂණයේ දියුණුවට පිහිටුවා තියන ආයතන පවා මේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නෑනේ, මේ ගැන හොද උදාහරණයක් පහුගිය දවස්වල දකින්න ඇතිනේ. මමත් ලිනක්ස් පාවිච්චි කරන්න පටන් අරගෙන සෑහෙන කාලයක් නෑ, නමුත් ලිනක්ස්වල හැකියාවන් ගැන කිව්වොත් මේ තියන මතය ගොඩක් දුරට අඩුවෙයි කියලා හිතෙනවා, මේ ඒකට ගත්ත පුංචි උත්සාහයක්.

බ්ලොග් එකට දාන්න ‘කරන්නේ කොහොමද’ කියලා Videos කීපයක්ම හැදුවා වින්ඩෝස් සහ තවත් මෘදුකාංග කීපයක් භාවිතාකරලා. ඉතින් මට හිතුනා ඒ වගේ එකක් කරන්න සම්පූර්ණයෙන්ම නිදහස් හා විවෘත මෘදුකාංග සහ ලිනක්ස් පාවිච්චි කරලා. මම පාවිච්චි කරන්නේ Linux Mint 7. මුලින්ම කරන්න ඕන වුනේ Desktop Capturing කරන්න මෘදුකාංගයක් සොයාගන්න එක. වැඩේ එච්චරම අපහසු වුනේ නෑ, Package Manager එක යොදා ගෙන පොඩි සෙවීමක් කරලා බැලුවා, අදාල මෘදුකාංග කීපයක්ම හමුවුනා, recordMyDesktop, XVidCap හා Istanbul වගේ. ඊලඟට මේවා ස්ථාපනය කරලා වැඩ කරන්නේ කොහොමද කියලා පොඩි අත්හදාබැලීමක් කලා. මේවා අතරින් මගේ නම් තේරීම වුනේ කියන gtk-recordMyDesktop මෘදුකාංගය, භාවිතයත් පහසුයි, ඒ වගේම ලැබෙන Video එකේ ගුණාත්මක බවත් ඉහලයි.

ඉතිං මම මීට පෙර TrueCrypt ගැන කරපු Video එකම නැවත ප්‍රතිනිර්මාණය කරන්න හිතුවා. නමුත් පොඩි ප්‍රශ්නයක්, recordMyDesktop හරහා ලැබෙන Video එක OGV ක්‍රමයේ එකක්, වෙබ් අඩවියට ඇතුල් කරන්න නම් ඒක FLV(ෆ්ලෑෂ් Video) එකක් බවට හරව ගන්න ඕන වුනා. මේ ගැන හොයලා බැලුවාම මෘදුකාංග කීපයක්ම හොයාගන්න පුළුවන් වුනා. හැබැයි ඒ ඔක්කොම පැත්තක තියෙද්දි  පොඩි Script එකකින් මගේ වැඩේ කරගත්තා. ඔන්න ඉතින් තව ප්‍රශ්නයක්, ලැබෙන Video එක තැලිලා වගේ, input එකට දුන්නේ 16:10 අනුපාතයට තියන Video එකක් වුනාට output එක විදියට ලැබෙන්නේ 4:3 අනුපාතයේ Video එකක්.  දැන් මොකද කරන්නේ. Script එකක්නේ, විවෘත කරලා බැලුවා Text Editor එකෙන්,  ඔක්කොම එලිපිටම තියනවා.

Script එකේ පොඩි වෙනසක් කලා, එහෙම කිව්වට මහ ලොකු වෙනසක් නෙවෙයි, Script එකේ 1024×768 කියලා තියන තැනකට 1280×800 කියලා දැම්මා, එච්චරයි වැඩේ හරි. පහලින් තියෙන්නේ හැදුව Video එක, බලන්නකෝ කොහොමද කියලා.

ඔන්න ඔහොම තමයි මම Video එක හැදුවේ. මේක කරන්න පුළුවන් මීට වඩා හොද විධි ඇති, කැමතිනම් ඒවා ගැන මෙතන සඳහන් කරන්න.

ඔබේ ලියකියවිලි ආරක්ෂිතද?

කාලෙකින් බ්ලොග් එකෙ මොනවත් ලියන්න වෙලාවක් ලැබුනේ, පසුගිය දවස් වල වැඩ අධිකබව නිසා පැත්ත පලාතක එන්න වුනේ නෑ. කොහොම වුනත් දවස් තුනක නිවාඩුවක් ලැබුන වෙලාවෙවත් අලුතෙන් යමක් ලියන්න ඕන කියලා හිතුණා.

ගොඩක් අය තමන්ගෙ පෞද්ගලිකත්වයට කැමති, ඒ වගේම සමහර දේවල්වල රහස්‍යභාවයට, මොකද දැන් හරියට හොරු ඉන්නවනේ. මේ ලිපියට අදාල නැති වුනත් දැක්කනේ පහුගිය දවස් වල බ්ලොග් පොස්ට් හොරකම්කරන හොරු වගයකුත් අහුවුනානේ. කොහොම වුනත් ගොඩක් අය හිතාගෙන ඉන්නේ පරිඝණකට ඇතුල්වීමට මුරපදයක් දාගත්තාම ඔක්කොම හරි කියලා. නමුත් මගේ බ්ලොග් සටහන් කියවන අය දකින්න ඇති ඒ මුරපදය ලේසියෙන්ම වෙනස්කරලා පරිඝණකයට ඇතුල්වෙන පුළුවන් විධි තියනවා කියලා. මේ කියන්න යන්නේ එවැනි තත්වයන් යටතේ තමන්ගේ රහස්‍ය හෝ වටිනා ලියකියවිලි ආරක්ෂාකරගන්න පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංගයක් ගැන.

මේ මෘදුකාංගය තමයි TrueCrypt. මෙහි විශේෂත්වයන් බොහොමයි, නමුත් ඒ අතරින් ප්‍රධානම දේ තමයි මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් වීම. ඒ වගේම මෙහි වඩා ශක්තිමත් AES වැනි encryption ක්‍රමත්, SHA-512 වැනි hashing ක්‍රමයනුත් භාවිතා වෙනවා. මෙමගින් තමන්ට අවශ්‍ය ලියකියවිල්ලක්, ගොනුවක් හෝ එසේත් නැතිනම් දෘඩ තැටියේ කොටසක් වුනත් ආරක්ෂාකරගත හැකියි. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ සම්පුර්ණ මෙහෙයුම් පද්ධතියම TrueCrypt මගින් ආරක්ෂාකරගත හැකි වෙනවා, නමුත් ඒ පහසුකම ඇත්තේ Windows වලට පමණයි.

Windows, Linux හා Mac OS X යන මෙහෙයුම් පද්ධති තුන සඳහාම TrueCrypt සංස්කරණයන් මෙතැනින් ලබාගත හැකී. TrueCrypt භාවිතාකරන ආකාරය දැක්වෙන සටහන බැලීමට මෙතැනින් පිවිසෙන්න, එසේත් නැත්නම් මීට අදාල පහත Video එක නරඹන්න.

TrueCrypt මෙන්ම එවැනි මෘදුකාංග තව බොහෝ ගණනක් ඇතැත් ඒවායින් සියයට අනූවකටත් වඩා නොමිලේ ලබාදෙන ඒවා නොවේ. එවැනි මෘදුකාංග වල සංසන්දනයක් මෙතැනින් බලාගන්න පුළුවන්.